Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව

පැණ විසදුම්

රාජ්‍ය අංශයේ නිරන්තර විමසීම් සඳහා

ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ පිළිතුරු

රාජ්‍ය ආයතන ප්‍රධානීන් සිය පරිපාලන කටයුතු කිරීමේදී ආයතන සංග්‍රහය, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සෘඡුවම ආවරණය නොවන කරුණු පිළිබඳව ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ තීරණ විමසා නිරතුරුවම ලිපි ඉදිරිපත් කෙරේ.

ඒ ආකාරයට නිරතුරුවම ලැ‍බෙන ගැටලු 100ක් සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදෙන පොදු තීරණ පහත දක්වා ඇත.

මෙහි සඳහන් පිළිතුරු පූර්වාදර්ශ ලෙස ගෙන ක්‍රියා කිරීම අපේක්ෂා කරන අතර කිසියම් වූ ගැටළු සහගත තත්වයක් පවතී නම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2012 අනුව අදාළ කරුණු ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරන මෙන් වැඩිදුරටත් දන්වා සිටිමි.

1. විමසුම

රජයේ ස්ථීර පත්වීමක් බාර ගන්නා අවස්ථා වන විට දරු ප්‍රසූතියක් සිදු කර ඇති නිලධාරිනියක සඳහා 2005.02.03 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2005 හි විධිවිධාන අදාළ කර ගනිමින් ප්‍රසූති නිවාඩු ලබා දිය හැකි ද?

පිළිතුර

හැකිය. දරු ප්‍රසූතිය සිදු වූ දින සිට නිලධාරිනිය ස්ථීර පත්වීම බාරගත් දිනය දක්වා වූ කාල සීමාව අඩු කර ඉහත චක්‍රලේඛ විධිවිධාන පරිදි වැටුප් සහිත, අඩ වැටුප් හා වැටුප් රහිත ප්‍රසූති නිවාඩු ලබා දිය හැක.

2. විමසුම

රාජකාරී වේලාවෙන් බැහැර අවස්ථාවක දී සිදු වන අනතුරක් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 382හි විධිවිධාන අනුව නිවාඩු ලබා දිය හැකි ද?

පිළිතුර

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 382 අනුව අනපේක්ෂිත ව්‍යසනයක් යනු යම් භූගෝලීය ප්‍රදේශයක් තුළ සිදු වන ගංවතුර, සුළි සුළං, භූමි කම්පා, දීර්ඝ නියඟ වැනි ස්වාභාවික ව්‍යසනයන් හෝ යුද්ධමය අවස්ථාවක දී ඇති වන ව්‍යසනයන් වේ. එවැනි අවස්ථාවක අනතුරකට පත් වන නිලධරයෙකුට එම චක්‍රලේඛයේ විධිවිධාන අනුගමනය කරමින් නිවාඩු ලබා දිය හැකි ය. ඒ හැර වෙනත් හදිසි අනතුරු (රථවාහන අනතුරු වැනි) වෙනුවෙන්  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 382 හි විධිවිධාන අදාළ කර ගත නොහැක.

3. විමසුම

විදේශ ශිෂ්‍යත්ව මත වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වන නිලධරයෙකුගේ කලත්‍රයා ද රාජ්‍ය නිලධාරයෙකු වන අවස්ථාවක කලත්‍රයාට එම නිලධරයා සමඟ වාසය කිරීමට විදේශ නිවාඩු ලබාගත හැකිද?

පිළිතුර

හැකිය. 2014.05.19 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2014 අනුව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිය.

4. විමසුම

කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටින නිලධාරිනියන් හට ප්‍රසූති නිවාඩු ලබා දිය හැකි ද?

පිළිතුර

නොහැක.

5. විමසුම

නීත්‍යානුකූලව දරුවෙකු හදා ගැනීමට ලබා ගන්නා රජයේ නිලධාරිනියකට දරුවා රැක බලා ගැනීමට නිවාඩු ලබා ගත හැකි ද ?

පිළිතුර

විශේෂ නිවාඩු ලබා ගත හැක. ඒ සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු ය.

6. විමසුම

අනිවාර්ය සේවා කාලයක් සහිතව නිලධරයෙකුට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 14 හෝ 16 වගන්තිවල විධිවිධාන පරිදි වැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු ලබා දී ඇති අවස්ථාවක, එකී නිවාඩුවට අදාළ අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ කිරීම සඳහා නිලධරයාගේ වෛකල්පික විශ්‍රාම ගැනීමේ වයස (අවුරුදු 55) ඉක්මවා අවුරුදු 60 දක්වා වන සේවා කාලය ද අදාළ කර ගත හැකි ද?

පිළිතුර

අනිවාර්ය සේවා කාලය නිලධරයාගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර නිම කළ හැකි වන පරිදි නිවාඩු ලබා දීම කළ හැකි ය. එම අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ වීමට ප්‍රථම වයස අවුරුදු 55 – 60 අතර කාලයේ දී නිලධරයා විශ්‍රාම යාමට ඉල්ලා සිටින්නේ නම් එවිට ඉතිරි අනිවාර්ය සේවා කාලය සඳහා අදාළ දණ්ඩන මුදල අය කළ යුතු ය.

7. විමසුම

රජයේ නිලධරයෙකුගේ කලත්‍රයා හෝ දරුවෙකු අසනීප වූ අවස්ථාවක දී ඉකුත් නිවාඩුවලට අමතරව තවදුරටත් නිවාඩු ලබා ගත හැකි ද?

පිළිතුර

2013.07.02 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11/2013හි විධිවිධාන පරිදි වසරක කාලයක් සඳහා දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි ය.

8. විමසුම

රජයේ නිලධාරිණියක අධ්‍යයනය සඳහා හෝ රැකියා සඳහා විදේශගතව සිටින අවස්ථාවක දී සිදුවන දරු ප්‍රසූතියක් සඳහා විදේශීයව ප්‍රසූති නිවාඩු අනුමත කළ හැකි ද?

පිළිතුර

නොහැක.

9. විමසුම

රජයේ නිලධරයෙකු තම තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාවේ/බඳවා ගැනීමේ පරිපාටියේ/ උසස් කිරීම් පරිපාටියේ සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා උසස් අධ්‍යාපන පාඨමාලාවක් අධ්‍යයන නිවාඩු නොලබා හදාරන අවස්ථාවක දී විභාග සඳහා සූදානම් වීමට අධ්‍යයන නිවාඩු ලබා ගත හැකි ද?

පිළිතුර

2014.10.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 23/2014හි විධිවිධාන පරිදි අධ්‍යයන නිවාඩු ලබා ගත හැක.

10. විමසුම

ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 23:3 උප වගන්තිය යටතේ මාණ්ඩලික නිලධරයෙකුට විදේශ නිවාඩු අනුමත කිරීමේ දී පවතින සීමාවන් කවරේ ද?

පිළිතුර

නිවාඩු ලබාගන්නා අවුරුද්දේත් ඊට කලින් අවුරුදු දෙකත් යන අවුරුදු තුනේ සමුච්චිත නිවාඩු සහ නිලධරයාට හිමි අඩ වැටුප් හෝ පරිවර්තිත අඩ වැටුප් නිවාඩු මාස 06ක උපරිමයක් දක්වා ලබා ගත හැක. මාස 06 ඉක්මවා නිවාඩු අනුමත කළ යුත්තේ රාජ්‍ය පරිපාලන විෂයය භාර ලේකම්වරයා විසිනි. මෙලෙස දීර්ඝ කරන නිවාඩු කාලය අඩ වැටුප් හෝ වැටුප් රහිත නිවාඩු විය යුතු ය.

11. විමසුම

වෛද්‍ය සහතික මත වෛද්‍ය නිවාඩු ලෙස යම් දින ගණනක් අනුමතව ඇති විටෙක එකී දින ගණන තුළට ගැනෙන සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දින ද නිලධරයාට හිමි විවේක නිවාඩුවලින් අඩු කළ යුතුද?

පිළිතුර

වෛද්‍ය සහතික මත නිලධරයකුට සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලෙස ලබා දිය හැකි නිවාඩු ප්‍රමාණය වනුයේ අදාළ විධිවිධාන පරිදි පවත්නා වර්ෂයේ තවදුරටත් ඉතිරිව පවතින නිවාඩු ප්‍රමාණය හා පසුගිය වර්ෂයේ ඉතිරිව පවතින විවේක/අසනීප නිවාඩු ප්‍රමාණය සමඟ තවදුරටත් නිවාඩු අවශ්‍ය වන්නේ නම් ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 10 වගන්තිය යටතේ ලබා ගත හැකි ඉකුත් නිවාඩුත් වේ. එම පරිච්ඡේදයේ 8:3 උප වගන්තියෙහි විධිවිධාන අනුව මෙරට දී ගත කරන විවේක නිවාඩු කාලයකට ඇතුළත් වන සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින, නිවාඩුවලින් අඩු කරනු නොලැබේ. ඒ අනුව වෛද්‍ය සහතික මත වෛද්‍ය නිවාඩු ලෙස සම්පූර්ණ වැටුප් සහිතව ලබා දිය හැකි යම් නිවාඩු ප්‍රමාණයක් අනුමත කරන අවස්ථාවක දී සෙනසුරාදා දිනය සාමාන්‍ය රාජකාරි දිනයක් ලෙස සලකන නිලධරයන්ට ඉරිදා සහ රජයේ නිවාඩු දින ද, සේවා මුර ක්‍රමය යටතේ සේවයේ යොදවා ඇති නිලධරයන්ට සතියේ ඔවුන්ට ලැබෙන විවේක දින ද, සතියේ දින 05 පමණක් සාමාන්‍ය රාජකාරි දින ලෙස නියම වී ඇති නිලධරයන්ට සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින ද නිලධරයාට හිමි විවේක නිවාඩුවලින් අඩු නොකළ යුතුය.

උදා :- සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය හැකි සතියේ දින 05 පමණක් රාජකාරියේ යෙදිය යුතු නිලධරයකුට දින 05 ක වෛද්‍ය හේතූන් මත නිවාඩු අනුමත කරන අවස්ථාවක දී සහ එම කාලය තුළට රජයේ නිවාඩු දින 02 ක් ඇතුළත් වන්නේ නම් නිලධරයා අසනීපය මත දින 05 ක් සේවයට වාර්තා නොකළ ද සත්‍ය ලෙසම ඔහුට හිමි වැටුප් සහිත විවේක නිවාඩුවලින් අඩු කළ යුත්තේ දින 03 කි.

1. විමසුම

රජයේ නිලධරයන්ගෙන් යැපෙන දරුවන් සඳහා නිවාඩු ගමන් බලපත්‍ර (Railway warrants) ලබා දීමේ දී ඔවුන් සඳහා උපරිම වයස් සීමාවන් පනවා ඇත් ද?

පිළිතුර

ආයතන සංග්‍රහයේ XVI වැනි පරිච්ඡේදයේ 1:3 උප වගන්තිය අනුව වයස් සීමාව නොසලකා නිත්‍ය ලෙසට යැපෙන බව තහවුරු කර ගැනීම ප්‍රමාණවත් වන අතර, එම පරිච්ඡේදයේ 1:3:4 උප වගන්තිය අනුව එම තහවුරු කර ගැනීම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වගකීමක් වන අතර අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී වෙතින් තහවුරුවක් ද ඉල්ලා සිටිය හැක.

1.විමසුම

කාර්යාල සේවක සේවයේ I වන පන්තියේ නිලධරයන්ගේ කාර්යාල වේලාව කුමක් ද?

පිළිතුර

පෙ.ව. 8.00 සිට ප.ව. 4.45 දක්වා වේ.

1. විමසුම

විධිමත් විනය පරීක්ෂණයක දී රැකවරණ නිලධරයන්ට ගමන් වියදම් සහ සංයුක්ත දීමනා ගෙවිය හැකි ද?

පිළිතුර

ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 29:8 හි විධිවිධාන පරිදි ගෙවීම් කළ හැකි ය. එමෙන්ම 2008.01.08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි 02/2008 මඟින් මේ පිළිබඳ වැඩිදුර උපදෙස් ලබා දී ඇත.

1. විමසුම

කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිට වූ නිලධරයන්ට නිල නිවාස හිමි ද?

පිළිතුර

යම් තනතුරකට උප ලේඛන ගත කරන ලද නිල නිවාසයක් හිමි නම් පමණක්, එම තනතුර දරන්නා කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටිය ද එය ලබා දිය හැකි ය. උපලේඛනගත නිවසක් හිමි නොවන තනතුරක කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවූ නිලධරයෙකුට රජයේ නිවාසයක් සඳහා හිමිකමක් නොමැත.

2. විමසුම

රාජකාරිය සඳහා විදේශයකට පත් කරන ලද නිලධරයෙකුගේ කලත්‍රයා ද රජයේ නිලධරයෙකු නම් ඔහුට/ඇයට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 36 වගන්තියේ විධිවිධාන අනුව වැටුප් රහිත විදේශ නිවාඩු ලබා දීමේ දී ගිවිසුමකට එළඹිය යුතු ද? අනිවාර්ය සේවා කාලයක් අවශ්‍ය වේ ද?

පිළිතුර

ගිවිසුමකට එළඹීම හෝ අනිවාර්ය සේවා කාලයකට යටත් වීම හෝ අවශ්‍ය නොවේ.

1. විමසුම

කිසියම් නිලධරයෙකු සඳහා රජයේ සේවක දේපළ ණය යටතේ ලබා දිය හැකි උපරිම මුදල (රුපියල් ලක්ෂ 30ක මුදල හෝ නිලධරයාගේ අවුරුදු 07ක වැටුප යන දෙකෙන් අඩු මුදල ) නිර්දේශ කිරීමේ දී නිලධරයාගෙන් අය කළ හැකි උපරිම මාසික අය කිරීම කෙසේ විය යුතු ද?

පිළිතුර

නිලධරයා ලබන මාසික ශුද්ධ වැටුප (දීමනා හැර) නොඉක්මවන පරිදි මාසික වාරිකය හා පොළිය ගණනය කළ හැකි ය.

2.විමසුම

ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව ඇපකරුවන් ඉදිරිපත් කර, වරක් ආපදා ණය ලබා ඇති නිලධරයෙකු එම ණය මුදලේ ශේෂයක් තිබිය දී ම නැවත වතාවක් ආපදා ණය මුදල් ඉල්ලුම් කිරීමේ දී යළිත් ඇපකරුවන් ඉදිරිපත් කළ යුතු ද?

පිළිතුර

ඔව්. මෙහිදී මුල් ඇපකරුවන් නිදහස් වන අතර, අවසාන ණය මුදල සඳහා ඇප වන පුද්ගලයන් මුළු ආපදා ණය මුදල සඳහා ම ඇපකරුවන් වනු ඇත.

1. විමසුම

ස්ථාන මාරු නියෝගයේ උපවේශන දීමනා ගෙවන බව සඳහන් නොවන අවස්ථාවක දී එම දීමනාව ගෙවිය හැකි ද?

පිළිතුර

එක් ලිත් මාසයකට අඩු කාලයක් ඇතුළත ක්‍රියාත්මක වීමට ස්ථාන මාරු නියෝගයක් ලබා දී, ඒ අනුව අදාළ ස්ථාන මාරුව සිදුව ඇත්නම් ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 24 වගන්තියේ විධිවිධාන අනුව උපවේශන දීමනා ගෙවිය හැකි ය.

1. විමසුම

කිසියම් තනතුරකට අයත් පත්වීම් ලිපියක කාර්යක්ෂමතා කඩඉමක් ගැන සඳහන් නොවී ඇති වි‍ටෙක, නිලධරයෙකු සිය තනතුරට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතු ද? සමත්විය යුතු නම් ඒ සඳහා පවතින විධිවිධාන කවරේ ද?

පිළිතුර

තනතුරට අදාළ බඳවා ගැනීමේ පරිපාටියේ හෝ සේවා ව්‍යවස්ථාවේ කාර්යක්ෂමතා කඩඉමක් ඇතුළත්ව ඇත්නම් නිලධරයා කාර්යක්ෂමතා කඩඉමෙන් සමත්විය යුතු ය. එහෙත් අදාළ පත්වීම් ලිපියේ එම විධිවිධාන සඳහන් ව නැති විට ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් උපදෙස් ලබා ගත යුතු ය.

2. විමසුම

කාර්යක්ෂමතා කඩඉම සමත් වීම සඳහා විධිමත් බලධරයා විසින් සහන කාලයක් ලබා දී ඇත්නම් එම කාලය සඳහා වැටුප් වර්ධක ලබා දිය හැකි ද?

පිළිතුර

වැටුප් වර්ධකය උපයාගෙන ඇති අවස්ථාවක දී වෙනත් අයුරකින් නුසුදුසු නොවන්නේ නම් ගෙවිය හැකි ය.

3.විමසුම

2001.09.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2001 ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් වීමේ විධිවිධාන කවරේ ද?

පිළිතුර

2001.10.01 දින හෝ එදිනට පෙර පහත අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කර තිබූ නිලධරයන් පමණක් කාර්යක්ෂමතා කඩඉමෙන් සමත්වීමේ අවශ්‍යතාවෙන් නිදහස් කළ හැකි ය.

I.     2001.10.01 දින වන විට වයස අවුරුදු 45 සම්පූර්ණ වී තිබීම.

II.    බඳවා ගැනීම් පරිපාටියේ හෝ සේවා ව්‍යවස්ථාවේ වයස පදනම් කර ගෙන කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් වීමට අදාළ විධිවිධාන ඇතුළත් ව තිබීම.

III.   2001.10.01 දින වන විට නියමව තිබූ කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවරට එළඹ තිබීම. (පෙරදාතම් කිරීම හෝ උසස් කිරීම හෝ වැටුප් වර්ධක වාසි ලබා ගැනීම මත හෝ අදාළ වැටුප් පියවරට එළඹ තිබීම හෝ වැටුප් පියවර ඉක්මවා යාම මෙහි දී අදාළ  නොවේ.)

4. විමසුම

බඳවා ගැනීම් පරිපාටියේ/සේවා ව්‍යවස්ථාවේ හෝ පත්වීම් ලිපියේ සඳහන් ආකාරයට නියමිත පරිදි කාර්යක්ෂමතා කඩඉම සමත් වීමට නොහැකි වූ නිලධරයන්ට සහන ලබා ගැනීම සඳහා පවතින විධිවිධාන කවරේ ද?

පිළිතුර

ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 02/2011 සහ 02/2011(I) හි විධිවිධාන පරිදි සහන කාලයක් ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ය.

1. විමසුම

නිලධරයන් උසස්වීමක් ලබන විටම එම තනතුරේ කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවර ඉක්මවා ඇත්නම් ඉන් ඉදිරියට වැටුප් වර්ධක ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?

පිළිතුර

උසස්වීම අනුව වැටුප් පරිවර්තනය කර කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවර ඉක්මවන්නේ නම් ආයතන සංග්‍රහයේ VII වැනි පරිච්ඡේදයේ 5:5 වගන්තියේ විධිවිධාන අනුව කටයුතු කළ යුතු ය.

2. විමසුම

රාජ්‍ය සේවයේ / පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරමින් සිටින නිලධරයෙකු වෙනත් රජයේ තනතුරකට පත්වීමක් ලබා ගන්නා විට ඔහුගේ පෙර සේවා කාලය නව තනතුරේ සේවා කාලයට එකතු කළ හැකි ද?

පිළිතුර

එකතු කළ නොහැක. එසේ වුවද, රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධරයෙකු විධිමත් පරිදි මුදා හැර ගෙන රාජ්‍ය සේවයේම නව පත්වීමක් ලබා ගන්නා අවස්ථාවේ දී, රාජ්‍ය සේවය/පළාත් රාජ්‍ය සේවය යටතේ වන පුර්ව සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා පමණක් අදාළ කර ගත හැක.

3. විමසුම

රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරමින් සිටින නිලධරයෙකු වෙනත් රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ තනතුරකට පත්වීමක් ලබා ගන්නා විට ඔහුගේ වැටුප සකස් කිරීමේ දී පූර්ව සේවයේ ලබාගත් වැටුප සහ සේවා කාලය නව  තනතුරේ වැටුප සකස් කිරීමේ දී අදාළ කර ගත හැකි ද?

පිළිතුර

රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධරයෙකු විධිමත් පරිදි මුදා හැර ගෙන රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ නව පත්වීමක් ලබා ගන්නා අවස්ථාවේ දී, රාජ්‍ය සේවය/පළාත් රාජ්‍ය සේවය යටතේ ලැබූ වැටුප සහ සේවා කාලය ආයතන සංග්‍රහයේ VII වන පරිච්ඡේදයේ 9 වගන්තියේ විධිවිධාන පරිදි වැටුප් වර්ධක වාසි ලබාදීම සඳහා සලකා බැලිය හැකි ය.

4. විමසුම

මධ්‍යම රජයේ නිලධරයන්ගේ උසස්වීම් හා පත්වීම් පෙරදාතම් කිරීම සම්බන්ධයෙන් පැන නඟින ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?

පිළිතුර

2009.02.20 දිනැති අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ උපදෙස් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් ලබා ගත යුතු ය.

1. විමසුම

2005.07.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/94 (II) හි විධිවිධාන, 1980.12.31 දිනට පසුව රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති නිලධරයන්ට අදාළ කර ගත හැකි ද?

පිළිතුර

නොහැක.

2. විමසුම

රාජ්‍ය සේවයේ සියලුම උපාධිධාරීන් එකම වැටුප් තලයක පිහිටුවිය හැකි ද?

පිළිතුර

එකම වැටුප් තලයක පිහිටුවිය නොහැක. වැටුප තීරණය කිරීම තනතුරට මිස එම තනතුරුවල සිටින පුද්ගලයන්ගේ සුදුසුකම්වලට අනුව සිදු නොකෙරේ.

1.විමසුම

රාජ්‍ය සේවයේ එක් තනතුරක සිට රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට හෝ අභ්‍යාසලාභී පුහුණුවකට ස්ථීරව මුදා හැර ඇති මධ්‍යම රජයේ නිලධරයෙකුට පෙරළා පූර්ව තනතුරට පැමිණීම සම්බන්ධයෙන් වර්තමානයේ බලාත්මක වන විධිවිධාන කවරේ ද?

පිළිතුර

2009.02.20 දිනැති අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ මීට අදාළ විධිවිධාන සඳහන් නොවන හෙයින් මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් උපදෙස් ලබා ගත යුතු ය.

1. විමසුම

මැතිවරණයකට තරඟ කරන දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු, ඒ සඳහා නිවාඩු ඉල්ලුම් කිරීමේ දී, එම වසරේ ඔහුට හිමි එතෙක් ලබා නොගත් සාමාන්‍ය නිවාඩු තිබේ නම් ඒවා ලබා ගැනීමට හැකියාවක් තිබේ ද?

පිළිතුර

ඔව්. එම වසරට අදාළ අනියම් නිවාඩු ද, පෙර වර්ෂයේ විවේක නිවාඩු ඉතිරිව ඇත්නම් එම නිවාඩු සහ  පවත්නා වර්ෂයට අදාළව උපයා ගෙන ඇති විවේක නිවාඩු ද ලබා ගත හැකි ය.

2. විමසුම

දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වී ජය ගෙන සභික තනතුරකට පත් වූ විට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු ද?

පිළිතුර

නැත. සිය තනතුරේ සිටිය දීම මසකට දින 05ක උපරිමයකට යටත්ව අදාළ රැස්වීම්වලට සහභාගී වීම සඳහා සේවයේ හදිසි අවශ්‍යතාවන්ට යටත්ව වැටුප් සහිත නිවාඩු ලබා දිය හැකි ය.

3. විමසුම

දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන නගරාධිපති/සභාපති තනතුරකට පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරින් ඉල්ලා අස්විය යුතු ද?

පිළිතුර

නැත. ඔහුට පහත සඳහන් අනුග්‍රහ 02න් එකක් ලබා ගත හැකි ය.

I. පළාත් පාලන ආයතනයේ එම තනතුර දරන සම්පූර්ණ කාලයම වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම.

II. නිත්‍ය තනතුරේ සිටිය දීම ‍ සේවයේ හදිසි අවශ්‍යතාවන්ට යටත්ව මසකට උපරිම දින 07ක් දක්වා වැටුප් සහිත නිවාඩු ලබා ගනිමින් රැස්වීම්වලට සහභාගී වීම.

4. විමසුම

දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන සභිකයෙකු වශයෙන් පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස්විය යුතු ද?

පිළිතුර

නැත. පහත සඳහන් මනාප 02න් ඕනෑම එක් මනාපයක් භුක්ති විඳිය හැකි ය.

I.     පළාත් සභාවේ සභිකයෙකුව සිටින තාක් වැටුප් රහිත නිවාඩු මත පූර්ණකාලීන පදනමක් මත මුදා හැර ගැනීම.

II.    ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ 2:3:4 උප වගන්තියේ විධිවිධානවලට යටත්ව විශ්‍රාම ගැනීම.

5. විමසුම

දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස් විය යුතු ද?

පිළිතුර

ඔව්.

6. විමසුම

දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයෙකු මැතිවරණයකට තරඟ කිරීම සඳහා සේවයෙන් ඉල්ලා අස් විය යුතු ද?

පිළිතුර

ඔව්. එසේ වුවද වසර 10ක් හෝ ඊට වඩා වැඩි විශ්‍රාම වැටුප් සහිත සේවා කාලයක් ඇත්නම් ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ 1:3 උප වගන්තියේ විධිවිධාන අනුව ක්‍රියා කළ හැකි ය.

7. විමසුම

මැතිවරණයකට තරඟ කිරීම සඳහා රාජ්‍ය සේවයේ තමා දරන තනතුරෙන් ඉල්ලා අස් වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයෙකුට නැවත පූර්ව තනතුරට පැමිණිය හැකි ද?

පිළිතුර

නොහැක.

1. විමසුම

.පො.ස.(සා.පෙළ) විභාගයේ දී වෛකල්පික/ද්විතීය භාෂාව ලෙස සිංහල/දෙමළ භාෂාව සමත්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 යටතේ දිරි දීමනා ගෙවීමට අදාළ කර ගත හැකි ද?

පිළිතුර

නොහැක.

2. විමසුම

සිංහල මාධ්‍යයෙන් හදාරන ලද උපාධි පාඨමාලාවක අනු විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාව සමත් වීම මත දිරි දීමනා ලබා දිය හැකි ද?

පිළිතුර

‍නොහැකි ය.

3. විමසුම

කිසියම් තනතුරකට අදාළ බඳවා ගැනීමේ පරිපාටියේ/සේවා ව්‍යවස්ථාවේ හෝ අයඳුම්පත් කැඳවීමේ නිවේදනයේ බඳවා ගැනීමේ සුදුසුකමක් ලෙස කිසියම් භාෂා ප්‍රවීණතාවක් ඉල්ලා තිබේ නම් එම භාෂා ප්‍රවීණතාව සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 අනුව දිරි දීමනා ලබා ගත හැකි ද?

පිළිතුර

නොහැකි ය.

4. විමසුම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ දිරි දීමනා ලබා දීමට මානව සම්පත් අභිවර්ධන ආයතනයේ (සේවක අධ්‍යාපන ආයතනයේ) සහතික අදාළ කර ගත හැකි ද?

පිළිතුර

එම ආයතනයේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාවක් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධියක් හෝ හදාරා සහතික ලබා ඇත්නම් එම සහතික දිරි දීමනා ලබා දීම සඳහා අදාළ කර ගත හැකි ය.

5. විමසුම

සේවය ස්ථිර කළ රජයේ නිලධරයෙකුට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ භාෂා දීමනාව ගෙවීම ආරම්භ කළ යුත්තේ පත්වීම ලද දින සිට ද? සේවයේ ස්ථිර කළ දින සිට ද? වාචික පරීක්ෂණයෙන් සමත් වූ/නිදහස් වූ දින සිට ද නැතිනම් දිරි දීමනා ඉල්ලන දින සිට ද?

පිළිතුර

නිලධරයා පත්වීම ලැබූ දිනට ලිඛිත සුදුසුකම් සපුරා ඇත්නම් හා වාචික පරීක්ෂණයෙන් සමත් වී/නිදහස් වී ඇත්නම්, ඔහුගෙන් අදාළ භාෂා මාධ්‍යයෙන් ලබා ගෙන ඇති සේවය සලකා බලා, වාචික පරීක්ෂණයෙන් සමත් වූ/නිදහස් වූ දිනය නොසලකා, පත්වීම් ලද දින සිට දීමනාව ගෙවීමට තීරණයක් ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට හැකියාව තිබේ.

6. විමසුම

නැවත සේවයේ යොදවන ලද නිලධරයන් හා කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන ඇති නිලධරයන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 යටතේ දිරි දීමනා ලැබීමට හිමිකම් ලබන්නේ ද?

පිළිතුර

නැත.

7. විමසුම

.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සාමාන්‍ය ඉංග්‍රීසි (General English) විෂයය සමත් වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ දිරි දීමනා ගෙවීම සඳහා අදාළ කර ගත හැකි ද?

පිළිතුර

නොහැක.

8. විමසුම

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මූලික දෙමළ පාඨමාලාව/උසස් දෙමළ පාඨමාලාව/මූලික සිංහල පාඨමාලාව/උසස් සිංහල පාඨමාලාව හදාරා සමත් වීම මත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ  03/2007 යටතේ දිරි දීමනා ලබා ගත හැකි ද?

පිළිතුර

නොහැක.

9. විමසුම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ සිංහල/දෙමළ රාජ්‍ය භාෂා සඳහා දිරි දීමනා ලබා ගත් නිලධරයෙකුට, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 හි විධිවිධාන ක්‍රියාත්මක වීමෙන් පසුව ඔහු ලබන භාෂා දීමනාව තවදුරටත් ගෙවිය හැකි ද?

පිළිතුර

හැකි ය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007හි අවශ්‍යතා සම්පූර්ණ කර එහි විධිවිධාන පරිදි රාජ්‍ය භාෂාවක් සඳහා දිරි දීමනා ලබා ගැනීමේ දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ ලබාගත් භාෂා දිරි දීමනාව නතර කළ යුතු ය.

1. විමසුම

මූලික විමර්ශන පැවැත්වීමට විශ්‍රාමික නිලධරයන් යෙදවිය හැකි ද?

පිළිතුර

නොහැක. රජයේ සේවයේ නියුතු නිලධරයෙකුම යෙදවිය යුතුය. එසේ වුවත් අත්‍යවශ්‍ය අවස්ථාවක දී විශ්‍රාමික නිලධරයෙකු යොදවා ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පූර්ව අනුමතිය ලබා ගත යුතුය.

2. විමසුම

චෝදනා පත්‍රය, සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය සංශෝධනය කළ හැකි අවස්ථා ගණන කීය ද?

පිළිතුර

ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ;

අ)      14:4 උප වගන්තිය අනුව චෝදනා පත්‍රය නිකුත් කර විධිමත් විනය පරීක්ෂණය ආරම්භ කරන අවස්ථාව දක්වා කාල සීමාව තුළ ඕනෑම වාර ගණනක් චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනය  බලධරයාට බලය ඇත.

ආ)    14:6 උප වගන්තිය අනුව, විධිමත් විනය පරීක්ෂණය ආරම්භ කිරීමෙන් පසු, නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් චෝදනා පත්‍රය දෙවරක් සංශෝධනය කළ හැකි ය.

ඇ)    14:8 උප වගන්තිය අනුව, විධිමත් විනය පරීක්ෂණය ආරම්භ කිරීමෙන් පසු සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය දෙවරක් සංශෝධනය කළ හැකි ය.

3. විමසුම

විධිමත් විනය පරීක්ෂණයක දී පැමිණිල්ල මෙහෙයවන නිලධරයාට සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය සංශෝධනය කිරීමේ දී අලුතින් සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නම් චෝදනා පත්‍රයට ඇතුළත් කළ හැකි ද?

පිළිතුර

හැකි ‍ය. ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 14:8 උප වගන්තියෙන් විධිවිධාන සලසා තිබේ.

4. විමසුම

මූලික විමර්ශනයේ දී සාක්ෂිකරු විසින් කරනු ලැබ ඇති ලිඛිත ප්‍රකාශයක් විධිමත් විනය පරීක්ෂණයක දී සාක්ෂියක් ලෙස පිළිගත යුතු ද?

පිළිතුර

ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 21:13 උප වගන්තියේ විධිවිධාන අනුව මූලික විමර්ශනයේ දී දෙන ලද ලිඛිත ප්‍රකාශයක් සත්‍ය බව සාක්ෂිකරු විසින් විධිමත් විනය පරීක්ෂණයේ දී පිළිගනු ලබන්නේ නම් එය විධිමත් විනය පරීක්ෂණයේ දී සාක්ෂියක් ලෙස පිළිගත යුතු ය.

5. විමසුම

චූදිත නිලධරයෙකුගේ දුරකථන හෝ වෙනත් සංවාදයක පටිගත කළ හඬ පටයක්, විධිමත් විනය පරීක්ෂණයක දී පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකි ද?

පිළිතුර

ඉදිරිපත් කිරීම‍ට නෛතික බාධාවක් නැත.

දුරකථන හෝ වෙනත් සංවාදය පටිගත කරන ලද පුද්ගලයා හෝ එකී දුරකථන සංවාදයට හවුල් වු අනෙක් තැනැත්තා අදාළ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙක් ලෙස කැඳවීමෙන් චූදිත විසින් කළා ‍යැයි කියන ප්‍රකාශය ස්වාධීනව ද තහවුරු කර ගත හැක.

6. විමසුම

විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර චූදිත නිලධරයා මියගිය අවස්ථාවක විනය පරීක්ෂණය අත්හිටුවා තීරණයක් ලබාදිය හැකි ද?

පිළිතුර

විනය පරීක්ෂණය අත්හිටු විය හැකි ය. එහෙත් මෙවැනි අවස්ථාවක දී වරදකාරීත්වය පිළිබඳව නිගමනයකට එළඹීමේ හැකියාවක් නොමැත.

7. විමසුම

නිලධරයා සේවයේ යෙදී සිටිය දී කරන ලද විෂමාචාරයක් සම්බන්ධයෙන් ඔහු විශ්‍රාම ගැන්වීමෙන් පසු අනාවරණය වන අවස්ථාවක අදාළ විෂමාචාරය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය කුමක් ද?

පිළිතුර

අදාළ නිලධරයා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වන වගන්තියට යටත් කොට විශ්‍රාම ගන්වා නොමැති නම් ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ නොහැකි අතර පවත්නා සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ යුතු ය.

8. විමසුම

නිලධරයා සේවයේ යෙදී සිටිය දී කරන ලද විෂමාචාරයක් සම්බන්ධයෙන් ඔහු විශ්‍රාම ගැන්වීමෙන් පසු අනාවරණය වන අවස්ථාවක රජයට සිදු වී ඇති අලාභ හානියක් වෙතොත් එය අය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක් ද?

පිළිතුර

සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කර විශ්‍රාමික නිලධරයා වරදකරු වුවහොත් ඔහුගෙන් රජයට සිදුව ඇති අලාභය, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 43 (අ) වගන්තියේ විධිවිධාන අනුව අදාළ නිලධරයාගේ විශ්‍රාම වැටුපෙන් අය කර ගැනීමට හැකියාව ඇත.

1. විමසුම

පෞද්ගලික ලිපිගොනුවේ ලිපි අස්ථානගත වීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සේවා කාලය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟී ඇති විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?

පිළිතුර

1973.06.14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 121හි 5:4 වගන්තිය අනුව දෙපාර්තමේන්තු  ප්‍රධානියා විසින් මාණ්ඩලික නිලධරයන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කර, අදාළ සේවා කාලය පිළිබඳ නිර්දේශ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු ය.

2. විමසුම

වසර 20ක සේවා කාලයකින් පසු, තම මනාපය පරිදි විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන නිලධරයෙකුගේ වසර  20ක සේවා කාලය ගණනය කරන්නේ කෙසේ ද?

පිළිතුර

නිලධරයෙකු සේවයට බැඳුනු දින සිට වසර 20ක් සම්පූර්ණ කරන දිනය තෙක් දළ සේවා කාලය අදාළ කර ගත හැකි ය. වැටුප් රහිත නිවාඩු ලබා ගෙන තිබේනම් එම කාලයන් ද මෙම සේවා කාලය  ගණනය කිරීමේ දී අදාළ  කර ගත හැකි ය. එසේවුවද විශ්‍රාම වැටුප සැකසීමේ දී විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කළ යුතු ය.

1. විමසුම

හදිසි අනතුරක් හේතුවෙන් මියගිය අවිවාහක රාජ්‍ය නිලධරයෙකු වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 යටතේ වන්දි ලබාදීමේ දී, දෙමාපියන් ජිවතුන් අතර නොමැති විටෙක එම වන්දි මුදල් ඔහුගේ අවිවාහක සහෝදර/සහෝදරියන් වෙත ලබා දිය හැකි ද?

පිළිතුර

එවැනි අවස්ථාවක දී වන්දි මුදල නිලධරයාගේ අවිවාහක රැකියා විරහිත සහෝදර සහෝදරියන්ට සම කොටස්වලින් ලබා දිය හැකි ය.

1. විමසුම

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය රාජ්‍ය නිලධරයෙකුගේ කලත්‍රයා නැවත විවාහ වීම හේතුවෙන් නිලධරයාගේ වැටුප දරුවන් වෙත ලබා දිය හැකි ද?

පිළිතුර

මියගිය නිලධරයාගේ කලත්‍රයා නැවත විවාහ වීමෙන් පසු ඇය/ඔහු මියගිය අයගේ යැපෙන්නෙකු ලෙස සැලකිය නොහැකි වුව ද දරුවන් තවදුරටත් යැපෙන්නන් වේ.

ඒ අනුව නිලධරයාට වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනය හෝ දරුවන්ට අවුරුදු 26 සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් පළමුව එළඹෙන දිනය තෙක් නිලධරයාට හිමි මාසික වැටුප වරින්වර ලද හැකිව තිබූ වැඩිවීම් හා දීමනා ද සහිතව ඔහුගේ දරුවන් වෙත (ගැහැණු දරුවන් නම් අවිවාහක විය යුතුය) ලබා දිය හැකි ය.

2. විමසුම

රාජ්‍ය සංස්ථාවක කොන්ත්‍රාත් පදනමින් සේවය කළ සේවකයෙකු, ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතු කොටගෙන මිය ගියහොත් ඔහුගේ යැපෙන්නන්ට වන්දි හිමිකමක් ඇත් ද?

පිළිතුර

1988.07.13 දිනැති අංක 21/88 හා 1989.11.30 දිනැති අංක 59/89 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්හි විධිවිධාන අනුව එවැනි නිලධරයෙකු වෙනුවෙන් ඔහුගේ යැපෙන්නන් වෙත සියලු දීමනා හා වැටුප් වර්ධක සහිතව නිලධරයාට හිමි සම්පූර්ණ මාසික වැටුප ඔහුට අවුරුදු 55 සම්පූර්ණ වන දිනය තෙක් ලබා දිය හැකි ය.

3. විමසුම

දරුවන් නොමැති රාජ්‍ය නිලධරයෙකු ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හොත්, ඔහුගේ/ඇයගේ කලත්‍රයා නැවත විවාහවීමක දී, මියගිය නිලධරයාගේ වැටුප ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට ලබා දිය හැකි ද?

පිළිතුර

විවාහක රාජ්‍ය නිලධරයෙකුගේ යැපෙන්නන් ලෙස සලකනු ලබන්නේ කලත්‍රයා හා අවිවාහක රැකියා විරහිත දරුවන් වන බැවින් ඉහත නිලධරයාගේ දෙමව්පියන්ට වැටුප් ලබාදිය නොහැක.

4. විමසුම

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය නිලධරයෙකුගේ යැපෙන්නන් වෙත 1988.07.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88හි විධිවිධාන අනුව ගෙවනු ලබන වැටුප, මියගිය නිලධරයාගේ වයස අවුරුදු 55න් ඔබ්බට ගෙවිය හැකි ද?

පිළිතුර

නිලධරයෙකුගේ විශ්‍රාම ගැන්වීමේ වෛකල්පික වයස අවුරුදු 55 බැවින් ඉන් ඔබ්බට වැටුප් ගෙවිය නොහැක.

1. විමසුම

නිලධරයෙකු තම නිත්‍ය තනතුරට වඩා ඉහළ තනතුරක පූර්ණ කාලීනව හෝ නිත්‍ය තනතුරට අමතරව හෝ වැඩ බැලීම සඳහා විධිමත් පරිදි පත් කර සිටිය දී, වැඩ බැලීම සඳහා පත් කරන ලද දිනයේ සිට පෙරදාතම් කර ස්ථීරව එම තනතුරට පත් කළ විට, එම පත්වීම මත ඔහුගේ/ඇයගේ වැටුප සකස්  කර හිඟ වැටුප් ගෙවීමේ දී, වැඩ බැලූ කාලය වෙනුවෙන් ගෙවන ලද වැඩ බැලීමේ දීමනාව ආපසු අය කර ගත යුතු ද?

පිළිතුර

වැඩ බැලීමට විධිමත්ව පත්කළ දින සිට, පෙරදාතම් කර උසස් කරන ලද ලිපිය නිකුත් කර ඇති දිනය දක්වා එම තනතුරේ වැඩ බැලීම වෙනුවෙන් ගෙවන ලද වැඩ බැලීමේ වැටුප ආපසු අයකර ගැනීමට අවශ්‍ය නොවන අතර උසස් කරන ලද දින සිට උසස් වීම ලැබූ තනතුරට හිමි වැටුප හිඟ මුදලක් වේ නම් එය ද සමග ගෙවිය යුතු ය.

2. විමසුම

පුරප්පාඩු තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත්කරන ලද නිලධරයෙකුගේ පත්වීම් ලිපියේ කොපමණ කාලයක් සඳහා අදාළ තනතුරේ වැඩ බැලීමට පත් කර ඇත් ද යන්න සඳහන් නොවන විට, ඔහුට ගෙවන වැඩ බැලීමේ දීමනාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/97 අනුව මාස 03කට සීමා විය යුතු ද?

පිළිතුර

ආයතන සංග්‍රහයේ VII වන පරිච්ඡේදයේ 12:5:4 උප වගන්තියෙහි විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/97 මගින්, පුරප්පාඩු තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත්කරන ලද නිලධරයෙකුට දීමනා ගෙවීමට අදාළ එම පරිච්ඡේදයේ 12:5:1 හෝ 12:5:2 උප වගන්ති සංශෝධනය කර නොමැත. එබැවින් එම වගන්ති යටතේ ගෙවනු ලබන දීමනාව මාස 03කට සීමා කිරීමේ අවශ්‍යතාවක් නොමැත.

3. විමසුම

ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:5:3 උප වගන්තියේ පරිදි වැඩ බලන තනතුරට හිමි වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප ලබාගන්නා අවස්ථාවක දී වැඩ බලන තනතුරේ වැටුප් පරිමාණයට අදාළව වැටුප් වර්ධක අගයන් ලබා ගැනීමට හිමිකමක් තිබේ ද?

පිළිතුර

හිමිකමක් නොමැත. එසේවුවද නිලධරයාට ඔහුගේ නිත්‍ය තනතුරට අදාළ වැටුප් පරිමාණයේ  වැටුප් වර්ධක ලබාගත හැක.

1. විමසුම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2010 අනුව නිලධරයෙකුට ලබා ගත හැකි උපරිම විශ්‍රාම පූර්ව නිවාඩු කාලය කොපමණ ද?

පිළිතුර

නිලධරයෙකු විශ්‍රාම ගන්නා දිනට පුර්වාසන්න මාස 03ක කාලය තුළට ගැනෙන රජයේ වැඩ කරන දින ගණනට සමාන ඉතිරි කර ගත් නිවාඩු ඔහු/ඇය සතුව තිබේ නම් නිලධරයාට මාස 03ක උපරිමයකට යටත්ව විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගත හැක. එලෙස පූර්වාසන්න මාස 03ට ගැනෙන රජයේ වැඩ කරන දින ගණනට සමාන දින ගණනක් ඉතිරි කර ගත් නිවාඩු නොමැති නිලධරයෙකුට ඔහු/ඇය සතු ඉතිරි කර ගත් නිවාඩු සංඛ්‍යාවට සමාන වැඩ කරන දින ගණනක්  විශ්‍රාම පූර්ව නිවාඩු ලෙස ලබා ගත හැක.

2. විමසුම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2010 අනුව විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දීම සඳහා නිලධරයෙක් ඉතිරි කර ගත් නිවාඩු ගණනය කරනු ලබන්නේ කවදා සිට ද? ඒ කෙසේ ද?

පිළිතුර

2007.01.01 දින සිට ඉතිරි කර ගත් අනියම්, විවේක/අසනීප නිවාඩු මේ සඳහා අදාළ කර ගත හැකි ය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2005 හි විධිවිධාන පරිදි 2006 වර්ෂයේ දී ඉතිරි කර ගත් නිවාඩු සඳහා දිරි දීමනා ලබා නොගත් නිලධරයෙකුට ඔහු/ඇය වෙනුවෙන් 2006.01.01 දින සිට ඉතිරි කර ගත් අනියම්, විවේක/අසනීප නිවාඩු ද අදාළ කර ගත හැක.

1. විමසුම

නිල ඇඳුම් හිමිකම ඇති කාර්යාල සේවක සේවයේ නිලධරයන් කවුරුන් ද?

පිළිතුර

කාර්යාල සේවක සේවයේ II පන්තියේ නිලධරයන්ට පමණක් නිල ඇඳුම් හිමිකම ඇත. කාර්යාල සේවක සේවයේ I පන්තියේ නිලධරයන්ට නිල ඇඳුම් හිමිකම නොමැති නමුත් 2009.04.28 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 08/2009 විධිවිධානවලට යටත්ව ඔවුන්ට නිල ඇඳුම් ලබා දිය හැකි ය. කාර්යාල සේවක සේවයේ III පන්තියේ නිලධරයන්ට නිල ඇඳුම් හිමිකම නැත.

1. විමසුම

බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීම සඳහා භාවිත කළ යුතු ආකෘතිය කුමක් ද? එය සම්පූර්ණ කළ යු‍ත්තේ කෙසේ ද?

පිළිතුර

බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අඩවියේ (www.psc.gov.lk) පළ කර ඇති සම්මත ආකෘතිය හා බඳවා ගැනීමේ පරිපාටි සැකසීම පිළිබඳ උපදෙස් මාලාවට අනුව ය.

2. විමසුම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 නිකුත් කිරීමට පෙර, එක් එක් තනතුර සඳහා වෙන වෙනම අනුමත කර ඇති බඳවා ගැනීමේ පරිපාටි එම චක්‍රලේඛය නිකුත් වූ පසු ද ඒ ආකාරයෙන්ම අනුමත කළ යුතු ද?

පිළිතුර

නැත. සෑම තනතුරක් සඳහාම බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීම වෙනුවට හැකි සෑම අවස්ථාවක දී ම එක් සේවා ගණයක් සඳහා එක් බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීම  කළ යුතු ය.

උදා :              තනතුරු නාම සේවා ගණය

කම්කරු                                        ප්‍රාථමික - ශිල්පීය නොවන

මුරකරු                                        ප්‍රාථමික - ශිල්පීය නොවන

රිය සහායක                                   ප්‍රාථමික - ශිල්පීය නොවන

බංගලා භාරකරු සහායක                   ප්‍රාථමික - ශිල්පීය නොවන

3. විමසුම

බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කිරීමේ ක්‍රියාවලියේ දී අමාත්‍යාංශයක්/ දෙපාර්තමේන්තුවක් විසින් නිර්දේශ ලබා ගත යුතු බලධරයන් හා අනුමත කරන බලධරයා කවුරුන් ද?

පිළිතුර

  • නිර්දේශ ලබා ගත යුතු බලධරයන්      -         ආයතන අධ්‍යක්ෂ ජනරාල්

-         ජාතික වැටුප් කොමිෂන් සභාව

  • අනුමත කරන බලධරයා                 -          රාජ්‍ය සේවා කොමිෂන් සභාව

4. විමසුම

බඳවා ගැනීමේ පරිපාටි ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශයට යොමු කළ යුත්තේ කෙසේ ද?

පිළිතුර

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාවට අනුව බඳවා ගැනීමේ පරිපාටිය සකස් කර දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය සහ අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය සහිතව අදාළ අනෙකුත් ලේඛන ද සමඟ ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතු ය.

5. විමසුම

බඳවා ගැනීමේ පරිපාටියක් නිර්දේශ ලබා ගැනීම සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරීමේ දී ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍ය ලේඛන මොනවා ද?

පිළිතුර

I.  බඳවා ගැනීමේ පරිපාටියට ඇතුළත් කර ඇති තනතුර/තනතුරු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය ලද ලිපියේ/ලිපිවල පිටපත් හෝ අනුමත කාර්ය මණ්ඩල උප ලේඛනය.

II.  බඳවා ගැනීමේ පරිපාටියට ඇතුළත් කර ඇති තනතුර/තනතුරු සඳහා වැටුප නිර්දේශ කරමින් ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති ලිපියේ/ලිපිවල පිටපත්.

III.  අදාළ තනතුර/තනතුරු සම්බන්ධයෙන් අධිකරණ තීන්දු හෝ අමාත්‍ය මණ්ඩල තීරණ තිබේනම් ඒවායෙහි පිටපත්.

6. විමසුම

බඳවා ගැනීමේ පරිපාටියක් අනුමතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමේ දී බඳවා ගැනීමේ පරිපාටිය සමඟ ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍ය ලේඛන මොනවා ද?

පිළිතුර

I             කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තනතුර/තනතුරු අනුමත කරන ලද ලිපියේ/ලිපිවල පිටපත් හෝ අනුමත කාර්ය මණ්ඩල උප ලේඛනයේ පිටපතක්.

II.            බඳවා ගැනීමේ පරිපාටියට ඇතුළත් කර ඇති තනතුරු සඳහා දැනට අනුමත බඳවා ගැනීමේ පරිපාටි ඇත්නම් ඒවායේ පිටපත්.

III.            ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ ලබා දුන් ලිපියේ පිටපත.

IV.            ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් නිර්දේශ ලබා දුන් ලිපියේ පිටපත.

V.            අදාළ තනතුර/තනතුරු සම්බන්ධයෙන් අධිකරණ තීන්දු හෝ අමාත්‍ය මණ්ඩල තීරණ තිබේනම් ඒවායෙහි පිටපත්.

7. විමසුම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006ට අනුකූලව අනුමත වූ බඳවා ගැනීමේ පරිපාටියක් සංශෝධනය කිරීමට අවශ්‍ය වූ විට එය සිදු කළ යුත්තේ කෙසේ ද?

පිළිතුර

අංක 1589/30 හා 2009.02.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතීන්හි IV වන පරිච්ඡේදයේ 36 හා 37 වගන්තිවල විධිවිධාන අනුව කටයුතු කළ යුතු ය.

8. විමසුම

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා ව්‍යවස්ථාවෙන් පාලනය වන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට හා ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවෙන් පාලනය වන ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අදාළ තනතුරු සඳහා බඳවා ගැනීම් පරිපාටි සකස් කළ යුතුද?

පිළිතුර

ඔව්. මෙම සේවාවලට සේවා ව්‍යවස්ථා තිබුන ද එම සේවා ව්‍යවස්ථාවන්ගෙන් පාලනය වන තනතුරු සඳහා වෙන් වෙන්ව බඳවා ගැනීම් පරිපාටි සකස් කළ යුතු බවට විධිවිධාන ඇතුළත්ව ඇත.

9. විමසුම

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් තාවකාලික හා කොන්ත්‍රාත් පදනම මත අනුමත කර ඇති තනතුරු සඳහා බඳවා ගැනීමේ පරිපාටි සකස් කළ යුතු ද?

පිළිතුර

ඔව්. තාවකාලික පදනම මත අනුමත කර ඇති තනතුරු සඳහා තාවකාලික පදනමින් බඳවා ගැනී‍මේ පරිපාටි ද, කොන්ත්‍රාත් පදනම මත අනුමත කර ඇති තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමේ පරිපාටි ද සකස් කළ යුතු වේ.

10. විමසුම

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින්, දැනට තනතුර දරන නිලධරයාට/නිලධරයන්ට පෞද්ගලික වන සේ අනුමත කර ඇති තනතුර/තනතුරු සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 අනුව බඳවා ගැනීමේ පරිපාටි සකස් කළ යුතු ද?

පිළිතුර

නැත. එම තනතුර/තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු නොකෙරෙන බැවින් බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. සේවයේ නියුතු නිලධරයන්ගේ උසස්වීමේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන උසස් කිරීම් පරිපාටියක් සකස් කළ  යුතු ය.

1. විමසුම

සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමේ ක්‍රමවේදය, බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කර ගැනීමේ ක්‍රමවේදයෙන් වෙනස්  වන්නේ කෙසේ ද?

පිළිතුර

සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රතිපත්තිමය නිශ්කාෂණය අවශ්‍ය වේ යැයි තීරණය කරනු ලබන කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නිශ්කාෂණය ලබා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම් විසින් එම කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ය. අනෙකුත් කටයුතු බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කර ගැනීමේ දී අනුගමනය කරන ආකාරයට ම වේ.

1. විමසුම

2007.07.01ට පෙර රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක සේවය කරන ලද නිලධරයෙකු 2007.07.01 දින හෝ එදිනට පසු නව තනතුරකට විවෘත/සීමිත හෝ කුසලතා පදනමින් පත්වීමක් ලද විට ඔහු/ඇය සේවයට බැදුණු රාජ්‍ය භාෂාවට අතිරේක වශයෙන් අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතු ද?

පිළිතුර

ඔව්. 2014.01.21 දිනැති 01/2014 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතු ය‍.

2. විමසුම

2007.07.01 දිනට පෙර රාජ්‍ය සේවයට/පළාත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද නිලධරයන් සඳහා අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම අවශ්‍ය වන්නේ ද?

පිළිතුර

2007.07.01 දිනට පෙර රාජ්‍ය සේව‍යට/පළාත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද නිලධරයන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/2014හි සඳහන් අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතා විධිවිධාන අදාළ නොවන නමුත් බඳවා ගැනීමේ දී අදාළ කර ගන්නා ලද සේවා ව්‍යවස්ථාවේ/බඳවා ගැනීමේ පරිපාටියේ භාෂා ප්‍රවීණතාව ලබාගැනීම සම්බන්ධයෙන් වෙනත් විධිවිධාන ඇතුළත් කර ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතු ය.

1. විමසුම

ආබාධිත පුද්ගලයින්ට රැකියා සැපයීම පිළිබඳව නිකුත් කර ඇති 1988.08.18 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/88 තවදුරටත් වලංගුව පවතින්නේ ද? සංශෝධන සිදු කර තිබේ ද? ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය කෙසේ ද?

පිළිතුර

එම චක්‍රලේඛය තවදුරටත් වලංගුව පවතින අතර 1999.01.29 දිනැතිව නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/99 මඟින් ඉහත චක්‍රලේඛයේ විධිවිධාන අනුගමනය කළ යුතු බව දක්වා ඇත. ඒ හැර එම චක්‍රලේඛයට වෙනත් සංශෝධන කිසිවක් නොමැත.

බඳවා ගැනීම් සිදු කිරීමේ දී ආබාධිත තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍යවරුන් හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධරයෙකු ඇතුළත් පරීක්ෂණ මණ්ඩලයක් මඟින් ආබාධිත බව තහවුරු කර ගෙන එම මණ්ඩලයේ නිර්දේශ මත බඳවා ගත යුතු ය.

2. විමසුම

ආබාධ සහිත තැනැත්තන් රාජ්‍ය සේවයට/පළාත් රාජ්‍ය සේවයට/රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩලවලට බඳවා ගැනීමේ දී අදාළ වන විධිවිධාන කවරේ ද?

පිළිතුර

අයදුම් කරනු ලබන තනතුරට අදාළ බඳවා ගැනීමේ පරිපාටිය/සේවා ව්‍යවස්ථාව අනුව අවශ්‍ය සුදුසුකම් ලත් හා ආබාධිත තත්ත්වය රාජකාරී කටයුතුවලට බාධාවක් නොවන ආබාධිතයන්ගෙන් රජයේ සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ/රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඇබෑර්තු පිරවීමේ දී එම ඇබෑර්තුවලින් 3%ක් පිරවීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/88 හා 01/99න් විධිවිධාන සලසා ඇත.

3. විමසුම

ආබාධිත පුද්ගලයන්ට රජයේ රැකියා ලබාදීමේ දී බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කිරීම සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර තිබේ ද?

පිළිතුර

නැත.

1. විමසුම

උසස්වීමේ දිනයත් වැටුප් වර්ධක දිනයත් එකම දිනයක යෙදුන විට, උසස්වීමේ දී වැටුප් පරිවර්තනය කළ යුත්තේ කෙසේ ද?

පිළිතුර

එම නිලධරයාට පැරණි තනතුරේ/පන්තියේ/‍‍ශ්‍රේණියේ එදිනට හිමි වැටුප් වර්ධකය ලබා දී, ඒ අනුව ලැබෙන වැටුප පදනම් කරගෙන ආයතන සංග්‍රහයේ VII පරිච්‍ඡ්දයේ 05 වගන්තිය අනුව උසස් වීමේ දී වැටුප සකස් කළ යුතු ය.

2. විමසුම

නිලධරෙයකුගේ “මූලික වැටුප” හා “ඒකාබද්ධ වැටුප” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

පිළිතුර

“මූලික වැටුප” හා “ඒකාබද්ධ වැටුප” යන වචන දෙකෙන්ම අදහස් වන්නේ නිලධරයාට හිමි වැටුප් පරිමාණයට අදාළ දීමනා රහිත මාසික වැටුප ය.

3. විමසුම

ආයතන සංග්‍රහයේ VII පරිච්ජේදයේ 5:3:1 උප වගන්තියේ සඳහන් “ඊළඟ ඉහළ වැටුප් පියවර” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

පිළිතුර

ආසන්නතම ඉහළ වැටුප් පියවර වේ.

4. විමසුම

සීමිත හා කුසලතා තරඟ විභාගවලින් කරනු ලබන පත්කිරීම්වල දී වැටුප සකස් කළ යුත්තේ කෙසේ ද?

පිළිතුර

එවැනි පත්වීම්වල දී ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 5 වගන්තියේ විධිවිධාන පරිදි වැටුප සැකසිය හැකි ය.

5. විමසුම

දීප ව්‍යාප්ත සේවාවක හෝ ඒ හා සමාන වැටුප් නියම කර ඇති තනතුරක සේවයේ නියුතු නිලධරයෙකු 2006.01.01 දින I පන්තියට උසස් වූයේ නම්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (VII) අනුව වැටුප පරිවර්තනය කරන්නේ කෙසේ ද‍?

පිළිතුර

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (VII) අනුව අනෙකුත් සුදුසුකම් සපුරා ඇත්නම්, 2005.12.31 දින දීප ව්‍යාප්ත සේවාවේ හෝ ඒ හා සමාන වැටුප් නියම කර ඇති තනතුරක II පන්තියට අදාළව ලද වැටුප් පියවරට වැටුප් වර්ධක 3ක් එම වැටුප් පරිමාණය මත ලබා දී ඉන් අනතුරුව I ශ්‍රේණියට උසස් කර එම වැටුප් පරිමාණයෙහිම I  පන්තියට අදාළ වැටුප් පියවරෙහි පිහිටුවා ඉන් අනතුරුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006හි විධිවිධාන අනුව 2006.01.01 දිනට හිමි වැටුප ලබා දිය යුතු ය.

6. විමසුම

කිසියම් තනතුරකට අධි සේවක පදනම මත උසස් කරන ලද නිලධරයෙකු පසුව එම තනතුරටම  නිත්‍ය ලෙස පත් කිරීමේ දී හිමි වන්නේ එකම වැටුප් ක්‍රමය බැවින්, වැටුප් වර්ධක දිනය වෙනස් කර, අතිරේක වැටුප් වර්ධකයක් ලබා දීමට හැකියාවක් ඇත් ද?

පිළිතුර

අධි සේවක පදනම මත පත් කිරීමේ දී, උසස් කිරීමක් ලෙස වැටුප් පරිවර්තනය සිදු කර ඇත්නම්, නැවත අතිරේක වැටුප් වර්ධකයක් ලබා දිය නොහැක. එසේම අධි සේවක පදනම මත උසස් කළ දිනය ම ඉදිරි වැටුප් වර්ධක දිනය ලෙස සලකා කටයුතු කළ යුතු ය.

7. විමසුම

නිලධරයෙකු වැටුප් වර්ධක දිනයේ දී ම විශ්‍රාම ගන්නේ නම් එදිනට හිමි වැටුප් වර්ධකය ලබා දී ඔහුගේ විශ්‍රාම වැටුප සැකසිය හැකි ද?

පිළිතුර

නිලධරයා විසින් වැටුප් වර්ධකය නියමිත පරිදි උපයාගෙන ඇත්නම් අදාළ වැටුප් වර්ධකය ලබා දී විශ්‍රාම වැටුප සැකසිය යුතු ය.

8. විමසුම

පූර්ව දැනුම් දීමකින් තොරව ඉල්ලා අස්වන නිලධරයකුගෙන් අය කර ගත යුතු “මාසික වැටුප” යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

පිළිතුර

අය කර ගත යුත්තේ, දීමනා රහිත මූලික මාසික වැටුප පමණි.

9. විමසුම

තනතුරක අතරමැද ‍‍ශ්‍රේණියක උසස්වීම් නොලද තීරුව යටතේ උපරිමයට පැමිණි නිලධරයෙකු ඊළග උසස්වීම සඳහා සේවය කළ යුතු නිශ්චිත සේවා කාලය සම්පූර්ණ කර නොමැති විටෙක ඔහුට/ඇයට තවදුරටත් වැටුප් වර්ධක ගෙවිය හැකි ද?

පිළිතුර

අතරමැදි ශ්‍රේණියක උපරිමයට පැමිණි ඕනෑම තනතුරක සේවය කරන සෑම නිලධරයෙකුට ම තවදුරටත් වැටුප් වර්ධක ගෙවිය නොහැක. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 හි ඇමුණුම II හි 4:5 ඡේදය පරිදි බඳවා ගැනීමේ පරිපාටියේ හෝ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, සේවා කාලය පදනම් කර ගෙන නිර්බාධිත උසස්වීම් ක්‍රමයක් ඇති සේවාවක/තනතුරක සේවය කරන නිලධරයෙකුට, වැටුප් පරිමාණයේ උපරිමයෙන් ඔබ්බට එම උසස්වීම ලබා ගැනීම සඳහා සේවය කළ යුතු “නිශ්චිත සේවා කාලය” දක්වා පමණක් වැටුප් වර්ධක උපයා‍ගෙන ඇත්නම් තවදුරටත් වැටුප් වර්ධක ලබා දීම සලකා බැලීම සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතුය. (මෙහිදී “නිශ්චිත සේවා කාලය” යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍ය කාර්යසාධනය යටතේ ස්වයංක්‍රීයව උසස්වීමක් ලබා ගැනීම සඳහා අදාළ වන කාල සීමාවයි.)

10. විමසුම

යම් නිලධරයෙකු රාජ්‍ය සේවයේ එක් තනතුරක සිට තවත් තනතුරකට උසස්වීමක් ලැබීමේ දී උසස් වීමට පෙර තනතුරේ ලබමින් සිටි වැටුප් පියවර, නව තනතුරේ අදාළ පන්තියේ/ශ්‍රේණියේ උපරිම වැටුප් පියවර ඉක්මවා ඇත්නම් ඔහු/ඇය පිහිටුවන වැටුප් පියවර තීරණය කරන්නේ කෙසේ ද?

පිළිතුර

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006හි ඇමුණුම 02 හි 4:5 ඡේදයේ විධිවිධාන අනුව කටයුතු කළ යුතු ය. ඒ අනුව පිහිට වූ වැටුප් පියවර උසස් වීම ලැබූ පන්තියේ/ ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවර ඉක්මවූ වැටුප් පියවරක් නම් ඉන් අනතුරුව ඉදිරි වැටුප් වර්ධක ගෙවීම සඳහා අදාළ පරිදි නිසි බලධරයාගෙන් සහන කාලයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

11. විමසුම

විශේෂ ශ්‍රේණිය මේ වන විටත් ක්‍රියාත්මක නොවන PL - 1,  PL - 2,  PL - 3 කාණ්ඩවල I පන්තියේ වැටුප් ලබන නිලධරයන්ට 2008.06.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006(V)හි විධිවිධාන අනුව උපරිම වැටුප් පියවර වන 43 වන පියවරෙන් ඔබ්බට වැටුප් වර්ධක ලබා දිය හැකි ද?

පිළිතුර

ලබා දිය යුතු ය.

12. විමසුම

කිසියම් තනතුරක ආරම්භක ශ්‍රේණියේ වැටුප් වර්ධක අගයට වඩා වැඩි වැටුප් වර්ධකයක් ලබමින් සිටි තනතුරක සිට (උදා:- කනිෂ්ඨ සේවක ශ්‍රේණියක I පන්තියේ සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III පන්තියට උසස්වීම) වෙනත් තනතුරකට උසස් වූ  නිලධරයෙකුට පූර්ව තනතුරේ වැටුප් වර්ධක අගය මත ගැලපීමේ දීමනාවක් ලබා දිය හැකි ද?

පිළිතුර

දැනට පවතින විධිවිධාන අනුව නොහැකි ය.

13. විමසුම

තාවකාලික පදනමින් බඳවා ගත් නිලධරයන් සඳහා ජීවන වියදම් දීමනාව සහ විශේෂ දීමනා හිමි වේ ද?

පිළිතුර

හිමි වේ.

14. විමසුම

යම් තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීමට හෝ රාජකාරි ඉටු කිරීමට හෝ පත් කළ නිලධරයෙකු තවත් තනතුරක වැඩ බැලීමට හෝ රාජකාරි ඉටු කිරීමට හෝ පත් කිරීම් බලධරයා විසින් විධිමත්ව පත්කර ඇති අවස්ථාවක දී ඔහුට එසේ වැඩ බැලීමට හෝ රාජකාරී ඉටු කිරීමට හෝ පත්කළ තනතුර සඳහා ද ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි වැඩ බැලීමේ හෝ රාජකාරි ඉටු කිරීමේ දීමනා ලබාගත හැකි ද?

පිළිතුර

ලබා ගත හැකි ය.

1. විමසුම

විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවීමේ දී අදාළ වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ  මොනවා ද?

පිළිතුර

2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 හා එහි සංශෝධන

2011.11.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2011

2. විමසුම

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ විශ්‍රාමික නිලධරයෙකු 2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 අනුව පරිපාලන නිලධාරී තනතුරේ නැවත සේවයේ යෙදවූ විට හිමිවන දීමනාව කොපමණ ද?

පිළිතුර

විශ්‍රාම යන අවස්ථාවේ අවසන් වරට ලැබූ වැටුපෙන් 50% හෝ රුපියල් 15,000 යන දෙකින් වැඩි මුදල ය. (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 හි 02 (v) ඡේදය)

3. විමසුම

සේවා මුක්ත භටයින් රාජ්‍ය සේවයේ තනතුරකට පත් කිරීමේ දී අදාළ වන විධිවිධාන කවරේ ද?

පිළිතුර

අංක 1589/30 හා 2009.02.20 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ වී ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතීන්හි 95 වගන්තිය අදාළ වේ.

4. විමසුම

සේවා මුක්ත භටයකු නැවත රාජ්‍ය සේවයට පත් කළ විටෙක ඔහුට/ඇයට ජීවන වියදම් දීමනාව හා අන්තර් දීමනාව ගෙවන්නේ කෙසේ ද?

පිළිතුර

ඔහුට/ඇයට විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නම් විශ්‍රාමිකයෙකු ලෙස හිමි ජීවන වියදම් දීමනාව සහ අන්තර් දීමනාවත්, තනතුරට අදාළ ජීවන වියදම් දීමනාව සහ අන්තර් දීමනාවත් යන දෙකම ගෙවිය හැකි ය.

5. විමසුම

කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ යෙදවූ විශ්‍රාමිකයින්ට නිවාඩු හිමිකම  තිබේ ද?

පිළිතුර

ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 37 වගන්තියේ විධිවිධාන පරිදි නිවාඩු ලබා ගත හැකි ය.

6. විමසුම

2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 අනුව කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ යෙදවූ විශ්‍රාමිකයින්ට අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ගෙවීමේ දි එය ගණනය කිරීම සඳහා අදාළ කර ගන්නා වැටුප කුමක් ද?

පිළිතුර

නැවත සේවයේ යෙදවීම වෙනුවෙන් ගෙවනු ලබන පාරිශ්‍රමිකය අදාළ කර ගත යුතු ය.

7. විමසුම

2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යොදවනු ලබන විශ්‍රාමික නිලධරයන්ට භාෂා දීමනාව, වාර්ෂික වැටුප් වර්ධක, ජීවන වියදම් දීමනාව සහ අන්තර් දීමනාව හිමි වේ ද?

පිළිතුර

නැත.

8. විමසුම

විශ්‍රාමික නිලධරයෙකු කොන්ත්‍රාත් පදනම මත පත් කර ඇති තනතුරට අතිරේක වශයෙන්, ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:2:5 උප වගන්තිය අනුව තවත් තනතුරක වැඩ බැලීමට/රාජකාරි ඉටු කිරීමට පත් කර ඇත්නම් වැඩ බැලී‍මේ/රාජකාරි ඉටු කිරී‍මේ දීමනාවක් ගෙවිය හැකි ද?

පිළිතුර

වැඩ බැලීමට පත් කර ඇත්නම් වැඩ බලන තනතුරට අදාළ ආරම්භක වැටුපෙන් 1/4ක් ද රාජකාරි ඉටු කිරීමට පත් කර ඇත්නම් රාජකාරි ඉටු කිරීමට පත් කර ඇති තනතුරේ ආරම්භක වැටුපෙන් 1/6ක් ද වශයෙන් දීමනා ගෙවිය හැකි ය.

1. විමසුම

ගරු අමාත්‍යවරුන් සඳහා අනුමත පෞද්ගලික කාර්ය මණ්ඩලය කෙසේ විය යුතු ද?

පිළිතුර

ජනාධිපති ලේකම්ගේ අංක CA1/17/1 හා 2010.05.14 දිනැති ලිපියට අනුව පහත පරිදි වේ.

තනතුර සංඛ්‍යාව

 

1)      පෞද්ගලික ලේකම්                                            01

2)      සම්බන්ධීකරණ ලේකම්                                        02

3)      මාධ්‍ය ලේකම්                                                   01

4)      මහජන සම්බන්ධතා නිලධාරී                                  01

5)      පෞද්ගලික සහකාර                                            01

6)      කළමනාකරණ සහකාර                                        05

7)      කාර්යාල කාර්ය සහායක                                      02

8)      රියැදුරු (ආරක්ෂක සේවය, රියැදුරු)                         02

2. විමසුම

ගරු අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල තනතුරු සඳහා 2007.06.01 සිට ක්‍රියාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 (IV) අනුව ගෙවිය යුතු ස්ථාවර මාසික දීමනාව කුමක් ද?

පිළිතුර

තනතුර මාසික වැටුප

(ස්ථාවර මාසික දීමනාවක් ලෙස )

1)  පුද්ගලික සහකාර                                                    රු. 13,990.00

2)  කළමනාකරණ සහකාර                                             රු. 13,990.00

3)  කාර්යාල කාර්ය සහායක                                           රු. 12,330.00

4)  රියැදුරු                                                               රු. 12,990.00

 

මෙයට අමතරව 2011.12.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 31/2011, 2012.12.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2012 හා 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 37/2013 අනුව විශේෂ දීමනාව හා ජීවන වියදම් දීමනාව ද, 2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2014 හා 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 05/2015 අනුව අන්තර් දීමනාව ද හිමි වේ. මෙම අය අතුරෙන් කිසිවෙකු දැනටමත් රාජ්‍ය සේවයේ තනතුරකින් හෝ සේවාවකින් අනුයුක්ත කර තිබේ නම් එම නිලධරයන්ට ඔහුගේ/ඇයගේ නිත්‍ය තනතුරට හිමි වැටුප ගෙවිය යුතු වේ.

3. විමසුම

ගරු ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා පරිවර්තිත අතිකාල දීමනා ගෙවිය හැකි ද?

පිළිතුර

2005.09.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2005 විධිවිධාන ප්‍රකාරව ගෙවිය හැක.

4. විමසුම

රජයේ නිලධරයන් ගරු අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලවලට මුදා හැරීමේ විධිවිධාන මොනවා ද?

පිළිතුර

විශේෂ අනුමතියක් අවශ්‍ය නොවන අතර පත් කිරීම් බලධරයාට මුදා හැරීම කළ හැකි ය. (ජනාධිපති ලේකම්ගේ “රාජ්‍ය වියදම් කළමනාකරණය” මැයෙන් වූ අංක CA/1/17/1 හා 2010.05.14 දිනැති ලිපිය අනුව කටයුතු කළ හැකි බවට 2012.12.19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.)

5. විමසුම

ගරු අමාත්‍යවරයෙකුගේ අනුමත කාර්ය මණ්ඩලයේ තනතුරකට විශ්‍රාමික රජයේ නිලධරයෙකු පත් වූ අවස්ථාවක දී ඔහුට/ඇයට ජීවන වියදම් දීමනාව ගෙවන්නේ කෙසේ ද?

පිළිතුර

විශ්‍රාමිකයෙකු වශයෙන් හිමි ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප සමග ගෙවන බැවින් රජයේ සේවයේ නියුතු නිලධරයෙකුට හිමි ජීවන වියදම් දීමනාවෙන් විශ්‍රාමිකයෙකුට හිමි ජීවන වියදම් දීමනාව අඩු කර ඒ අතර වෙනස තනතුරට අදාළව ගෙවිය හැක.

6. විමසුම

ගරු අමාත්‍යවරයෙකුගේ අනුමත කාර්ය මණ්ඩලයේ තනතුරකට විශ්‍රාමික රජයේ නිලධරයෙකු පත් වූ අවස්ථාවක දී ඔහුට/ඇයට අන්තර් දීමනාව ගෙවන්නේ කෙසේ ද?

පිළිතුර

විශ්‍රාමිකයෙකු ලෙස හිමි අන්තර් දීමනාව සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ තනතුරට හිමි අන්තර් දීමනාව යන දෙකම ලබා ගත හැකි ය.

අවසන් යාවත්කාලීන කිරීම 2017 අගෝස්තු 29 වෙනි අඟහරුවාදා, 06:19  

යාවත්කාලීනය : 17-10-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter