ගරු. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
ගරු අමාත්‍ය
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
දුරකථන | : | +94 11 2674115 |
ෆැක්ස් | : | +94 11 2699720 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
1953 වර්ෂයේ දඹුල්ලේදී උපත ලද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය ලැබීය. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව හා ජනසන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා තම වෘත්තීය දිවිය ආරම්භ කලේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසිනි. ඒ 1973 වසරේදීය.
එදින පටන් තම සහජ හැකියාවන් හා වෘත්තීය හැකියාවන් මත දිවයිනේ පොලිස්ථාන ගණනාවක ස්ථානාධිපතිවරයා ලෙසින් තම සේවාව රටට ලබා දුන් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා 1993 වසරේ පොලිස් දිවියට විශ්‍රාම දෙන්නේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයෙකුගේ වගකීම ඉටුකරමිනි. රාජ්‍ය නිලධාරියෙකුගේ භූමිකාවෙන් විශ්‍රාම ගත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉන් අනතුරුව අවතීර්ණ වන්නේ දේශපාලන දිවියටයි. පොලිස් සේවයෙන් ගත් පන්නරය මත 1993 දී මධ්‍යම පළාත නියෝජනය කරමින් පළාත් සභාවට තරඟ කරන ඒ මහතා එතෙක් තමන් උපයාගත් ජනතා මනාපය මත මධ්‍යම පළාත් සභාවට තේරීපත් විය. පළාත් සභාවෙන් ලද දේශපාලනික අවබෝධය ජාතික දේශපාලනයට මනා පිටිවහලක් කරගත් මෙතුමා 1994 පවත්වනට යෙදුන මහා මැතිවරණය සඳහා දඹුල්ල ආසනය නියෝජනය කරමින් තරඟ වැදී ඉන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්විය. පාර්ලිමේන්තුවේ දක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා 1997 වසරේ සිට 2000 වසර දක්වා කම්කරු නියෝජ්‍ය අමාත්‍යධුරයේ කටයුතු කරන ලදි. ඉන් අනතුරුව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් 2000 සිට 2001 දක්වා කටයුතු කල ඒ මහතා යලි 2004 වසරේ බලයට පත් සන්ධාන රජයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසින් පත්වීම් ලැබීය. පුරා වසර 6 ක් මුළුල්ලේ එකී අමාත්‍යධුරයේ වගකීම් මනා ලෙස ඉටු කල ජනක බණ්ඩාර අමාත්‍යවරයා සිය ධුර කාලය තුල කාර්යක්ෂම හා ඵලදායි පළාත් සභා පද්ධතියක් හා පළාත් පාලන ආයතන පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා සිය අත්දැකීම් පරිපූර්ණ දේශපාලන නායකත්වය ලබා දෙන ලදි. 2010 වසරේ සිට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යධුරයේ වගකීම ගත් අමාත්‍යවරයා එකී විෂයභාර අමාත්‍යවරයා ලෙසින් වසර 5ක කාලයක් කටයුතු කල අතර පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් 2015 අප්‍රේල් මාසයේ සිට 2015 අගෝස්තු මාසය දක්වා කටයුතු කරන ලදි.
එදින සිට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ වගකීම මනා ලෙස ඉටුකල ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා 2019 නොවැම්බර් 16 වෙනිදා පැවති ජනාධිපතිවරයත් සමග ඇති කල නව රජයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙසින් අතිගරු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමන් වෙතින් පත්වීම් ලැබීය. පුරා දශක දෙකකට අධික කාලයක් මහජන නියෝජිතයෙකුගේ භූමිකාව ප්‍රතිපත්තිගරුකව ඉටුකර ඇති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවාවක් තැනුම උදෙසා තම අත්දැකීම් සහගත දේශපාලනික නායකත්වය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට ලබා දෙමින් හිඳී.